Select Page

අපි අද පොඩ්ඩක් දරුවන්ගෙන් එහාට ගිහින් කතා කරමු ද?. මම දැක්කා පහුගිය කාලෙම තිබ්බා මේ දවස් වල ගෙවල් වල තියෙන අකරතැබ්බ. ඒ වගේම වැඩිහිටියන් වශයෙන් අප තුළ ඇති ඇති වූ මත ගැටුම් . ඒ නිසාම මට ලියන්න හිතුනේ මෙන්න මේ ගැන. වැඩිහිටි සම්බන්ධතා හරිම වැදගත්, ඒ සම්බන්ධතා ගුණාත්මකභාවයෙන් රැකගන්නෙ කොහොමද., එහි උපරිම ඵල නෙලා ගන්නේ කොහොමද ?

ඩේවිඩ් රිචෝ එයාගේ How to be an adult in Relationship කියන පොතේ හරි අපුරැවට මෙය පැහැදිලි කරලා තියනවා.

අපි බොහෝ අවස්ථා වලදී අපි අපෙන් අහලා නැහැ පුද්ගල සම්බන්ධතා තුළින් “මම” බලාපොරොත්තු වන්නේ කුමක් ද කියන එක . අපි සාමාන්‍යයෙන් දන්නවා අපි මොනාටද අකමැති ඒ වගේම අපිට අනවශ්‍ය දේ මොනවාද කියලා. නමුත් අපිට ඇත්තටම අවශ්‍ය මොනාද ?

ඔහු ඉංග්‍රීසි භාෂාවේ A අකුරින් පටන් ගන්න වචන හතරක් හඳුන්වා දෙනවා. අපි එකට කියනවා Five A’s කියලා. 5A’s

  1. Attention – අවධානය
  2. Acceptance – පිලිගැනීම
  3. Appreciation – අගය කිරීම
  4. Affection – සෙනෙහස
  5. Allowing – අවකාශය ලබාදීම/ඉඩලබාදීම

අවධානය

අවධානය කියලා කියන්නේ අනිත් පුද්ගලයා පිළිබඳ අප සතු දැනීමයි ,ඒ වගේම අපි අප ගැනත් දැනුවත් වීමයි, අනිත් පුද්ගලයා අප වෙනුවෙන් දෙන අවධානය පිළිබඳව දැන සිටීමයි. අපි බොහෝ වෙලාවට අනිත් අයගේ වුවමනා එපාකම් ගැන දැන සිටිනවා, නමුත් අපි අපේ උවමනාවන් ගැන දන්නේ නෑ.විශේෂයෙන් ගැහැනිය, පවුලේ සියලුම සියළුම සේවාවන් සපයන ගැහැනිය , තමා ගැන සැලකිලිමත් නොවෙන්න පුළුවන් . බොහෝ වේලාවට පවුලේ සියලුම බර කරට ගන්න ගැහැනිය ගැන පවුලෙ අනිත් පුද්ගලයන්ට තියෙන්නේ සුළු අවධානයක් වෙන්න පුළුවන්. මේ නිසාම බොහෝ අවස්ථාවල දී ඔවුන්ට ලැබෙන්නේ අඩු සැලකිල්ලක් , ඔවුන් පිළිබඳව සහායකයා දකින්නේ ඔවුන් ඒ පිළිබඳ චෝදනාවක් කරපු අවස්ථාව විතරක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් වල දී අවධානය දිනාගැනීම සඳහා වෙනත් ආකාරයේ ක්‍රියාමාර්ග වල යෙදෙන්න පුලුවන්.

අපි හැමෝටම ඕනේ අපේ ඇතුළාන්තයේ තියෙන ගැඹුරු ම සිතුවිලි සහ අවශ්‍යතාවන් වලට ඇහුම්කම් දෙන කෙනෙක්, අපි ඔවුන් වෙනුවෙන් දරන උත්සාහයන් වල වටිනාකමක් දකින කෙනෙක් , ඒ වගේ ම අපිව තේරුම් ගන්න පුළුවන් , අභිප්‍රායන්, අවශතා සහ ගැටල තේරුම් ගන්න පුළුවන් සමීප කෙනෙක්. ඔබට හිතෙනවානම් ඔබව අතහැරලා, ඔබව අමතක වෙලා ඔබට වටිනාකමක් නෑ කියලා මේ හොදම වෙලාව ඔබ ඔබට ආදරය කල යුතු, ඔබ ගැන අවධානය දිය යුතු. ඔබේ සිතුවිලි, ඔබ කැමති මොනවාටද , අකමැති මොනවාටද සහ ඔබේ සිතුවිලි වලට සවන් දෙන්න. ඔබේ සිතිවිලි පොතක සටහන් කරන්න. සෑම දුක්බර අවස්ථාකම මම පුරුදු වෙලා ඉන්නවා සටහනක් දාන්න. මේක පොතක් අරන් ලියනවා වගේම ඔන්ලයින් කරන්ත් පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ ඔබට පෞද්ගලික ජර්නලයක් තියාගන්න පුළුවන් .

ඔබ ඔබ ගැන දැන ගත් පසු , ඔබේ කැමැත්ත දැන ගත්තු පසු , මේ ඔබමයි ඔබට අවශ්‍ය මෙන්න මේකමයි කියලා දැනගත්තට පස්සේ අනිත් අයට අවශ්‍ය අවධානය ඔබට ලබාදිම ඉතා පහසුයි. අපි සියලු දෙනාටම ආදරණීය, කරුණාවන්ත අවධානයක් අවශ්‍ය යි ජිවිතේ විදින්න සහ දිනන්න.

පිලිගනීම

අපේ පුද්ගල සම්බන්ධතා තුළ ආදරය, රැකවරණය, ගෞරවය සහ තේරුම් ගැනීම ඉතා වැදගත් . ඉතා හොඳ ගුණාත්මක සම්බන්ධතාවයක් සඳහා අපට ආරක්ෂාවක් , පිළිගැනීමක්, වටිනාකමක් සහ සැහැල්ලුවක් තිබිය යුතුයි. පිළිගැනීම තමා තුළින් හෝ අනිත් පුද්ගලයන් තුළින් මතු වෙන්න ඕනේ . ඔබට ස්වයං පෞරුෂයක්, ආත්ම විශ්වායක්, බලාපොරොත්තු සහ සුදුසු කමක් ඔබට ඔබ තුළින්ම මතු වෙන පිළිගැනීම මගින් ලැබෙනවා .ඔබට අනිත් පුද්ගලයා ගෙන් ලැබෙන පිළිගැනීම තුළ ඔබට ස්තාවරත්වයක්, සන්සුන් බවක් සහ ආරක්ෂාවක් ලැබෙනවා .

ඒ වාගේම අපි අනිත් පුද්ගලයන් පිළිගැනීම ඉතා වැදගත්. සමහර අවස්ථාවලදී අපි ඔවුන් පිළිගන්න කැමති අපිට වාසිදායක වන ආකාරයට එහෙමත් නැත්තං අපිට අවශ්‍ය වන විදියට . පිළිගැනීම යනු අනිත් පුද්ගලයාව සත්‍ය අකාරයටම දැකීමයි , ඔබ දෙපළගේ සම්බන්ධතාවය අවංකවම හඳුනා ගැනීමයි.ඒ සත්‍යය පාදක කරගෙන පුද්ගලයා හරියාකාරව හඳුනා ගැනීම තුළින් ගුණාත්මක සම්බන්ධතාවයක් ගෙනයන්න පුළුවන් මතුපිටින් පෙනෙනවාට වඩා. ඒ කියන්නේ කෙනෙක් ආදරණීය ලෙස හෝ ,සිත රිදෙන ආකාරයෙන්,තරහින් ,කරුණාවෙන් හෝ රැකබලා ගැනීමේදී ඒ ඒ ආකාරයෙන්ම පිළිගැනීමයි නැතහොත් ඔබ කැමති ආකාරයට නෙවෙයි. අපි සම්බන්ධතාවය හඳුනාගැනීම තුළින්, ඒ තුළ හැසිරෙන්න ඕන ආකාරය වැඩිහිටියන් වශයෙන් ප්‍රතික්‍රියා දැක්විය යුතු ආකාරයත් දැන ගන්න පුළුවන්. අපිට අනිත් පුද්ගලයාට කියන්න පුළුවන් අපිට ගෞරවාන්විතව සලකන්න කියලා , නමුත් අපිට කියන්න බැහැ අපිට අවශ්‍ය පුද්ගලයන් වෙන්නෙ කියලා . ඉතින් මේ පිළිගැනීම කියන්නේ අනිත් පුද්ගලයව හරියාකාරව දැකීමයි .

අගයකිරීම

ඔන්න අපිට අඩුවෙන්ම ලැබෙන දෙය. අපි මොන දේ කලත් මොන හොඳ කලත් කිසිම කෙනෙක් අපිව අගය කරන්නේ නෑ. ඔන්න ඕකනේ හැමතිස්සෙම කියන්නෙ.

අගය කිරීම තුලදී අපි ආදරේ ලබන්නත්, පිළිගන්නත් සුදුසුයි. අපි බොහෝ අවස්ථා වලදී අනිත් අය අගය කරන්නේ නෑ . ලස්සන දැක්කාම හොඳ වැඩක් කරහම අපි අනිත් අයව අගය කරන්න පෙළඹෙනවා ද? අපගේ කෘතඥතාවය, පිළිගැනීම සහ අප වෙනුවෙන් අන් අය දරන උත්සාහය අගය කිරීම හොඳ සම්බන්ධතාවයක් ඇති කරයි.

අපි අපිව අගය කරන්නෙ නැත්තං , අපි නුසුදුසුයි කියලා හිතෙනවනම් අවසානයේ අපිට අනිත් අයව අගය කිරීමට හැකියාවක් පවතින්නෙ නෑ.

කේන්තිය ,දුක ,කලකිරීම සම්බන්ධතාවයක් තුළ අගය කිරිමට බධාකරනවා. ඔබ වෙන කෙනෙක් අගය කරාම ඔබට දැනෙන්නේ මොන වගේ සිතුවිල්ලක්ද අනෙක් පුද්ගලයා අගය කිරීමේදී ඇතිවෙන්නේ බොහොම ධනාත්මක ආකල්ප , මේ ධනාත්මක ආකල්ප අනෙක් පුද්ගලයන් සමග එකතු වීමට හේතු වෙනවා.

ඔබේ සම්බන්ධය තුල ඔබව අගය කිරීමට ලක් වෙන නැත්තම් ඔබ නැවතත් ඉහළ කාරණා දෙක පිළිබඳ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ( අවධානය සහ පිලිගැනීම)අනෙක් පුද්ගලයා ඔබට අවශ්‍ය අගය කිරිම ලබා දෙනවාද?ලබාදීමේ හැකියාවක් තියෙනවද ? එසේ ඔබ අගය නොකිරීමට හේතුවක් තිබෙනවාද? , අනිත් පුද්ගලයාගේ හිත ඇතුලේ විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් තිබෙනවාද ? එසේ පරස්පර වූත් සම්බන්ධතා අමනාපයට පත්වී අවසානයේ මැලවී යාවී.

සෙනෙහස

මනුෂ්‍යයන් වශයෙන් අපට අවශ්‍ය වෙනවා මානසික, ආධ්‍යාත්මික සහ ශාරීරික දැනෙන ප්‍රේමයක්. සෙනෙහස ආදරය නො ලැබෙන පුංචි දරුවන් මරණයට පවා පත්විය හැකි ය . සෙනෙහස කියන එකට අදාල වන ඉතා වැදගත් අංග තුනක් තියෙනවා . ඒ තමයි ඉහත දැක්වූ අවධානය පිළිගැනීම සහ අගය කිරීම . බොහෝ වෙලා ට ප්‍රේමය සෙනෙහස කියන්නේ හුදෙක් ලිංගික බැඳීම පමණක් බව සමහරු හිතනවා. සෙනෙහස තුළ ලිංගිකත්වයක් නැතුවා සේම ලිංගිකත්වය තුළ සෙනෙහසක් නැතිවියහැක. (ඔබ ආදරය අර්ථ දක්වන්නේ කෙසේද? )

බොහෝ පුද්ගලයන්ගේ සම්බන්ධතා තුළ අවධානයක් නො ලැබෙන, අකාරුණික, තමන්ට ඕන වන ආකාරයෙන් හසුරැවන, දුරස් සම්බන්ධතා තිබිය හැකි ය. සෙනෙහස තුළ රැකබලා ගැනීම,උණුසුම, ආරක්ෂාව, ආදරය, සමීපත්වයක් සහ චුම්බකත්වය අඩංගුයි. කුමන හෝ ආකාරයකින් සෙනෙහසක් නොමැතිනම් අප කොපමණ ලිංගිකව හැසිරුනත් එක්වුනත් එහි ප්‍රතිපලයක් නැත. “No amount of sex can make up for missing intimacy.” කලින් අවස්ථාවල සඳහන් කරපු ප්‍රධාන පිළිගැනීම් අවධානය සහ අගයකිරීම නැතුව සෙනෙහසක් ඇති වන්නේ නෑ.

ඉඩදීම

මෙහිදී අප සඳහන් කරන්නේ ඔබට සහ අනිත් පුද්ගලයන්ට තමා වීමට ඉඩ දීමයි . අනවශ්‍ය නීති රෙගුලාසි සහ අපේක්ෂාවන් තමන්ට තමන් වීමට ඉඩ දෙන්නේ නෑ. ඉඩදීම යනු අපි අනිත් පුද්ගලයන් හසුරවන්න නැහැ control කරන්නේ නෑ , ඒ වගේම ඔවුන්ට අපිව කොන්ට්‍රෝල් කරන්න ඉඩ නොදීමයි. අප එකිනෙකාගේ පෞද්ගලිකත්වයට හානි කරන්නේ නෑ.අපි අනෙක් පුද්ගලයාගේ ආගමික විශ්වාස නිසාවත් , හැඟීම් නිසාවත් වෙන මොනයම් හෝ හේතු නිසා වත් ඔවුන් තක්සේරු කිරීමට වත් ඔවුන්ට ගෞරවය කිරීමට්ත් පෙළඹිය යුතු නැහැ. ඉඩ දීම තුළම කොන්දේසි විරහිත ආදරයක් තිබෙනවා .ඔබට ඉඩ දී පිටුපසට වී බලා සිටිමි ඔබ ආරක්ෂා කිරීම තුළ අසීමිත කොන්දේසි විරහිත වූ ආදරයක් තිබෙනවා.

ඉඩ දීම තුළ පුද්ගල සම්බන්ධතා වලට ලිමිට් එකක් නෑ කියලා කියන්නේ නෑ. පුද්ගල සම්බන්ධතා තුළ තිබෙන ලිමිට් එක විඳදරා ගන්න පුලුවන් ලිමිට් එකක් වෙන්න ඕනේ. සෑම විටම මානසිකව සහ ශාරීරිකව වද දෙමින් අනෙකාට අවශ්‍ය පරිදි හැඩගස්වා ගැනීමට යෑමෙන් පුද්ගල සම්බන්ධතාවන් පලුදුවනවා. පුද්ගල සම්බන්ධතා වලට limit දමා ගැනීම තමා ආරක්ෂා වීමක් මිස අනෙක් පුද්ගලයාව කොන්ට්‍රොල් කිරීම නෙමෙයි .

අනිත් පුද්ගලයා ඔහුට ඕන ආකාරයෙන් ඔබව වෙනස් කරනවා හසුරවනවා නම් ඔබ කුමක් කළ යුතුද ? එහෙනම් මේ පුද්ගල සම්බන්ධතාවය ගැන නැවත සිතීමට කාලයයි. එහෙම නැත්තං මේ 5A’s වලින් නැවත ඔබේ පුද්ගල සම්බන්ධතාවය ගොඩනඟා ගන්න පුළුවන්ද? එහෙනම මේ ලිපිය සාර්ථකයි. ගොඩනඟා ගන්න බැරි නම් ඒ සම්බන්ධතාවය අතාරින්න හොඳම කාලයයි.

මේ 5 A’s ගුණාත්මක පුද්ගල සම්බන්ධතා වලට මඟ පෙන්වනවා. මේ අවධානය ,පිළිගැනීම ,අගය කිරිම ,සෙනෙහස සහ ඉඩ දීම තුලින් ඔබගේ පුද්ගල සම්බන්ධතාවයට නව අර්ථයක් දෙනවා, ඔබේ සම්බන්ධතාවය නව මාවතකට යොමු කරනවා. ඉතිං ආදරය යනු….

භාග්‍යා බමුණුආරච්චි